06 Oct
06Oct

2016.03.29 වැනි දින බැඳුම්කර වෙන්දේසියේදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස ඊට පෙරදින මුදල් අමාත්‍යාංශයේදී රවි කරුණානායක විසින් කරන ලද ඉල්ලීම අනුව, ඉදිරිපත් කළ යුතු "අඩු ලංසු සීමාව" ජාතික ඉතිරි කිරීමේ බැංකුවට යළි දැනුම්දෙන ලද්දේ මහ බැංකුවේම නියෝජ්‍ය අධිපති පී. සමරසිරි විසින්ම බව පෙරේදා (04දා) මහ බැංකු බැඳුම්කර විමර්ශන කොමිසම හමුවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ උපදේශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අප්පුහාමිගේ ලයනල් මහතා හෙළිකර සිටියේය.

සාමාන්‍යයෙන් වෙන්දේසියකදී ඒ සඳහා මිල ගණන් නියම කොට ලංසු ඉදිරිපත් කරන්නේ බැංකුවේ ඊට අදාළ සියලු අංශ එහි නිලධාරීන් සමඟ කරුණු සාකච්ඡාකොට අවසානයේ සැසඳුම් කමිටුවට ඉදිරිපත් කොට එමඟින්ද අනුමත කළ පසුව බවත්, එහෙත් එම වෙන්දේසි දෙකේදීම (මාර්තු 29 හා මාර්තු 31 යන දෙදින පැවැති) රවි කරුණානායක මුදල් ඇමැතිවරයා ලබාදුන් සීමාවන් තුළ සිට ඉතා අඩු ලංසු ඉදිරිපත් කරන්නට සිදුවීම නිසා බැංකුවට ලැබිය යුතුව තිබූ රුපියල් කෝටි ගණනක ලාභය අහිමිව ගිය බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් මහතාද ඇතුළුව රාජ්‍ය බැංකු ප්‍රධානීන් තිදෙනාවද සාමාන්‍යාධිකාරිවරුන්ද කැඳවා රවි කරුණානායක ඇමැතිවරයා විසින් පවත්වන ලද එම රැස්වීමේදී මහ බැංකුවේම නියෝජ්‍ය අධිපතිවරයකු වූ සමරසිරි මහතා විසින්ම එම "අඩු ලංසු සීමාවන්" ලබාදෙන ලද බවද ඔහු කොමිසමේ සාමාජික ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

ජනාධිපති කොමිසම එහි සභාපති ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ප්‍රසන්න එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රැස්විය.
ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතාගේ මෙහෙයවීමෙන් කොමිසමේ කටයුතු පරිපාලනය වේ.

ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් චිත්‍රානන්ද පෙරේරා මහතා කියා සිටියේ 2016 මාර්තු මස 29 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියට පෙර දිනයේ එනම් 28 වැනි දින රවි කරුණානායක ඇමැතිවරයා විසින් කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ රැස්වීමට තමාද සහභාගි වූ බවත්, රවි කරුණානායකගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම්ද සහභාගි වී සිටි බව කීය.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වන පී. සමරසිරි ද එම රැස්වීවේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් සිටි බවද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේය.
කොමිසම හමුවේ රොනල්ඩ් පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේ රවි කරුණානායක ඇමැතිවරයා රාජ්‍ය බැංකු තුනෙහිම අධිපතිවරුන් අමතමින්, ඇතැම් විට පෞද්ගලිකව නම්ද සඳහන් කරමින් ඉල්ලීමක් ඉදිරිපත් කළ බවය.

එම ඉල්ලීම වූයේ රජයේ හදිසි මුදල් අවශ්‍යතාවක් පිරිමසාගැනීම සඳහා පසු දිනයේ (29දා) පවත්වන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී අවම ලංසුවකට මිල ගණන් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකුවලින් ඉල්ලා සිටින බවය.

ඒ අනුව, ඉදිරිපත් කළ යුතු ලංසුව හා අනුපාතයන් පිළිබඳව සීමාවන්ද ඇමැතිවරයා විසින්ම ඒ අවස්ථාවේදීම ලබාදෙන ලද බවද ඔහු කියා සිටියේය.
ඉදිරිපත් කළ යුතු ඵලදායිතා අනුපාතය  පවා ඇමැතිවරයා ප්‍රකාශ කළ බවද ලංකා බැංකු සභාපතිවරයා කියා සිටියේය.
ඒ අනුව තමා පසුදින වෙන්දේසියේදී එකී අනුපාත අනුව එකී සීමාවන් තුළ ලංසු ඉදිරිපත් කරන ලෙස සාමාන්‍යාධිකාරි ගුණසේකර මහතාට උපදෙස් ලබා දුන් බවද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලංකා බැංකු සභාපතිවරයා කියා සිටියේ ඇමැතිවරයා විසින් ලබා දෙන ලද අනුපාත වෙළෙඳපොළ එදින පැවැති අනුපාතයන්ට බොහෝ සෙයින් පහළ අනුපාත වූ බවත් 'ලංසුව'ද එලෙසම වෙළෙඳපොළ අගයට වඩා බොහෝ සෙයින් පහළ අගයක් ගත් බවත්ය.

ලංකා බැංකුවේ භාණ්ඩාගාර කටයුතු පිළිබඳ අතිරේක සාමාන්‍යාධිකාරි වසන්ත ශාන්ත කුමාර වික්‍රමාරච්චි මහතා කොමිසම හමුවේ කියා සිටියේ මාර්තු මස 29 වැනි දින හා 31 වැනි දින යන දිනයන්හි පැවැති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලට පෙර දිනවලදී මුදල් අමාත්‍ය රවි කරුණානායක විසින් කැඳවන ලද රැස්වීම් දෙකක් මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුණු බවය.

එම වෙන්දේසි පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබූ තොරතුරු මත පදනම්ව ලංසු ඉදිරිපත් කිරීමට ලංකා බැංකුව සියලු කටයුතු සූදානම් කොට තිබූ බවත් එම අවස්ථා දෙකේදීම එලෙස පිළියෙල කළ මිල ගණන් ඉවත දමා ඇමැතිවරයා විසින් ලබාදෙන ලද සීමාවන් මත පදනම්ව අලුතින් 'ලංසු' ඉදිරිපත් කිරීමට සිදුවූ බවත්ය.
එකී ක්‍රියාවන් හේතුවෙන් රටේ ප්‍රධානතම රාජ්‍ය බැංකුව වන තම බැංකුවට බරපතළ හානියක් සිදුවූ බව තමාගේ වැටහීම බවද එකී වෙන්දේසි දෙකේදීම ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට සියලු වාසි ලබා ගැනීමට එය හේතු පාදක වූ බව ඉතාමත්ම පැහැදිලි කරුණක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
නිදසුනක් වශයෙන් දක්වතොත් 29 වැනි දින වෙන්දේසිය සඳහා සකස් කර තිබූ මිල ගණන් පත්‍රය එදින උදේ 10.10ට ලැබුණු සභාපතිතුමාගේ පණිවුඩයක් අනුව වෙනස් කොට අඩු ලංසු සහිත අලුත් මිලගණන් පතක් උදේ 10.25ට පිළියෙල කරන්නට සිදුවූ බවද එමඟින් සිදුවූයේ ලංකා බැංකුවට ලබා ගත හැකිව තිබූ විශාල ලාභයක් අහිමි වී යෑම බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රවි කරුණානායක ඇමැතිවරයාගේ මැදිහත්වීම මත එම තත්ත්වය උදාවූ බවද මෙමඟින් ලංකා බැංකුව විසින් සකසනු ලැබ තිබූ 'ආයෝජන සැලසුම' මඟින් උපයාගත හැකිව තිබූ රුපියල් මිලියන ගණනක ලාභයක් අහිමිවූ බවද ඔහු වැඩිදුරටත් කොමිසමට ප්‍රකාශ කළේය.
වෙන්දේසි දෙකෙන්ම ලංකා බැංකුවට අහිමිව ගොස් පර්පචුවල් සමාගමට හිමිකරගත හැකිවූ ලාභයේ එකතුව ගණනය කළහොත් එය රුපියල් කෝටි සිය ගණනක් ඉක්මවා යන බවද ඔහු කියා සිටියේය.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි ඩී. එම්. ගුණසේකර මහතාද කොමිසම හමුවේ කියා සිටියේ වෙන්දේසියට පෙර දින ඇමැති රවි කරුණානායක රැස්වීමක් තබා අඩු ලංසු සීමාවක් ලබාදී ඒ අනුව ලංසු ඉදිරිපත් කරන ලෙසට නියම කළ බත් එම සීමාවන් කොළ කෑල්ලක සටහන් කර ලබාදුන් බවත්ය.

ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරි ඩී. එම්. ගුණසේකර මහතා සාක්‍ෂි දෙමින් තවදුරටත් කියා සිටියේ, 2016.03.29 දින වෙන්දේසියට පෙරදින රවි කරුණානායක ඇමැතිවරයා විසින් මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවැත්වූ බව සභාපතිතුමන් තමාට පැවැසූ බවත් එහිදී ඇමැතිවරයා විසින් ලබාදෙන ලද "අඩු ලංසු සීමාව" සහිත කොළ කැබැල්ල තමාට දී ඒ අනුව මිල ගණන්පත් (ඡඪඤඵ) ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවත්ය.

ඒ අනුව තමා එම කොළ කැබැල්ල සහකාර සාමාන්‍යාධිකාරි වික්‍රමාරච්චි මහතාට ලබාදුන් අතර ඒ අනුව ඔහු විසින් මිල ගණන් පත වෙනස් කොට අඩු ලංසු හා අඩු ඵලදායිතා අනුපාත සඳහන් කොට එය ඉදිරිපත් කළ බවත් වැඩිදුරටත් ඔහු කියා සිටියේය.
සභාපති විනිසුරු චිත්‍රසිරි මහතාට පිළිතුරු දෙමින් වැඩිදුරටත් ඔහු කියා සිටියේ තමාට සභාපතිවරයා එම කොළ කැබැල්ල ලබාදුන්නේ 29 වැනි දින උදේ 10.00 ට පමණ බවත්ය.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING