22 Jul
22Jul


කවරදාකවත් අප අසා නැති මත්ද්‍රව්‍ය වැනි දෑ භාවිත කිරීමට තරුණ පාසල් දරුවන් පෙලඹීම මහා සමාජ ඛේදවාචකයක් බවට පත් වෙමින් තිබේ.

මෙවැනි නොහික්මුණු අපචාරයන් මෙතෙක් වැඩි වශයෙන් වාර්තා වුණේ නගරාශ්‍රිත ප්‍රදේශවලිනි. එහෙත් දැන් දැන් ගම්වල අහිංසක දරුවන්ද ඒවායේ ගොදුරු බවට පත්වෙමින් සිටින්නේ කනගාටුදායක ලෙසිනි.

මෙහි අලුත්ම සිදුවීමක් තවමත් හේන් කුඹුරු අස්වද්දන අෑත මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වීම කැපී පෙනේ. මෙහි ගොදුරු බවට පත්ව ඇත්තේ තාමත් කටේ කිරි සුවඳවත් නොගිය දරු පිරිසකි.

ඊටත් එහා ගිය සිත් රිදීම වන්නේ දැරියන් කීප දෙනකුද මෙම අවලම් ක්‍රියාවට සම්බන්ධ වී තිබීමයි.

මෙම සිදුවීම එක් දිනක සිදුවූ හුදකලා සිදුවීමක් නොවන බවය. දැනට ටික කාලයකට පෙර මෙම පාසලෙන් ඉවත්ව ගිය දැන් නන්නත්තාර වී රස්තියාදු ගසන හිස් මිනිසුන් කීප දෙනකු මෙම ක්‍රියාදාමය පිටුපස ඇති බව කියැවේ. එමෙන්ම එය මැදිරිගිරියට පමණක් සීමා නොවන ව්‍යසනයකි. හිඟුරක්ගොඩ, පොළොන්නරුව වැනි අර්ධ නාගරික ප්‍රදේශවල ඇතැම් පාසල් දරුවන්ද මෙම මත්ද්‍රව්‍ය සඳහා පෙලඹෙන බවට දැන් දැන් වාර්තා වෙමින් තිබේ.

දරුවන් පෙලඹී ඇති මෙම මත්ද්‍රව්‍ය වූ කලී අහඹුවක් නොව අප ලාංකේය සමාජයේ චිරාත් කාලයක සිට පැවත එන සිංහල දුම්කොළ හා හුනු වියළා සකස් කර ගත්තකි. මීට ඇබ්බැහි වන පිරිස් වියළා ගන්නා මිශ්‍රණය කුඩු බවට පත්කර ගනිති. එසේ කුඩු කර ගැනීමෙන් පසු ඒවා දිව යට තබා ගැනීමෙන් පසු මත්වන බවට අනාවරණය වේ. මෙලෙස මත්වීමෙන් පසු තනිකරම පිස්සු කෙළින ඔවුහු ඇතැම් විට ශරීර කපා ගනිති. ලේ දැකීමටත් ප්‍රිය කරන බව සඳහන්ය. "තූල්" නමින් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය විශේෂය දැන් දැන් මහා වසංගතයක් බවට පත් වන්නේ ඔය ආකාරයටය.

මැදිරිගිරිය පාසලක දරුවන් 41 දෙනකු මේ මත්ද්‍රව්‍ය භාවිත කර විකල් වූ ආකාරය පසුගිය සතියේ වාර්තා විය. එම සිදුවීම එක් දිනකින් එක් රැයකින් සිදු වූවක් නොවන බව අප මුලින්ම සඳහන් කළෙමු. එය අවම වශයෙන් සති කීපයක සිට පාසල තුළ ක්‍රියාත්මක වී ඇති බවයි පැවැසෙන්නේ. එහෙත් මෙය ගුරුවරුන්ට හසු වන්නේ ඉකුත් බදාදා දිනයේය. සාමාන්‍ය පෙළ පන්තිවල සිසුන් කීප දෙනකුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්ෂණය කරන ගුරුවරයකු මේ බව පාසලේ ප්‍රධානීන්ට දන්වා ඇත්තේ කිසියම් දෙයක ඉවක් වැටුණු නිසා විය යුතුය. ඒ අනුව විදුහල්පති නියමයෙන් 10 වසරෙන් ඉහළ සියලුම දරුවන් හදිසි පරීක්ෂණයකට ලක් කරන අතර දරුවන් දස දෙනකු ළඟ පෙර කී "තූල්" තිබී හසුවුණේය. මේ පිළිබඳව තව දුරටත් කරුණු සෙවූ පාසල් විනය කමිටුවට දරු දැරියන්ගේ ශරීරවල තිබූ අසාමාන්‍ය තුවාල කැළැල් දුටුවේය. ඔවුන්ගේ තොරතුරු මත තවත් සිසු සිසුවියන් මීට සම්බන්ධ බවට හෙළිදරව් විණි. එසේ හසුවූ ගණන 41කි. මේ සියලු දෙනාම එදින මත්වී නොසිටි නමුත් ඔවුන් "පෙර වැරැදි" සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය විය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING