13 Jul
13Jul

වසර 40 කට ආසන්න කාලයක්පු පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකත්වය දැරූ තමන් වහන්සේ එම උපදේශක සභාවෙන් වත්මන් ආණ්ඩුවේ බලධාරින් විසින් ඉවත්කර ඇතැයි  පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති.

ජනාධිපති  ජේ.ආර් ජයවර්ධන මහතාගේ සමයේ සිට තමන් වහන්සේ පුරාවිද්‍යා උපදේශක සභාවේ සිටි නමුත් වත්මන් ආණ්ඩුව පත්වූ පසු තමන්ගේ නම උපදේශක සභාවෙන් කපාහැර ඇති බවත් මේධානන්ද හිමියෝ පවසති.

වසර 62 ක කාලයක සිට පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ නියලෙමින් උතුරු නැගෙනහිර ඇතුලු රටේ අස්සක් මුල්ලක් නෑර පුරාවිද්‍යා පර්යේෂණ කළ තමන්ට උපදේශක සභාවේ සාමාජිකත්වය නැතිවීම පිළිබද කිසිදු කණගාටුවක් නැති බව උන්වහන්සේ කියති.

ජේතවනය, අභයගිරි, මිරිසවැටිය, අවුකන ආදී සංරක්ෂණ කටයුතු පිළිබඳව උපදේශකවරයෙකු වශයෙන් කැපවීමෙන් කටයුතු කළ තමන් වහන්සේ කිසිදු විටක තනතුරු සොයා හඹා නොයන බවද පවසති. අවුරුදු 40 ක් පමණ උපදේශක සභාවේ සිටි තමන්ගේ සේවය තවදුරටත් අනවශ්‍ය බව වත්මන් ආණ්ඩුවේ බලධාරින් තීරණය කළේ කුමන හේතුවක් නිසා දැයි නොදන්නා බවද මේධානන්ද හිමියෝ පවසති.

මේ දිනවල දඹුලු විහාරයේ ප්‍රශ්නය පිළිබඳ පුරාවිද්‍යා උපදේශක සභාවේ මතය ගැන බොහෝ දෙනා තමන් වහන්සේගෙන් විමසුවත් එම සභාවෙන් ඉවත් කර ඇති නිසා ඊට පිළිතුරු දිය නොහැකි බව උන්වහන්සේ කියති. ‍එසේම තමන් වහන්සේගේ පුරාවිද්‍යා ගවේෂණ කටයුතු තව දුරටත් සිදුකරමින් යන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසති.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING