02 Jul
02Jul

ආගමික, ජාතික සහජීවනය ආරක්‌ෂා කිරීම උදෙසා සංඝරත්නය කළ දැනුම් දීමට මෙතෙක්‌ රජයෙන් ලැබුණු ප්‍රතිචාරය ප්‍රමාණවත් නොමැති බැවින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපක්‌ෂපාතී පරීක්‌ෂණ වාර්තාවක්‌ වහාම රටට හෙළි කළ යුතු යෑයි ත්‍රෛනිකායික මහ නාහිමිවරු ඇතුළු සමස්‌ත භික්‌ෂු එකමුතුව රජයට බලකර සිටිති.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි නිර්නායක සහිත ජාති ආගම් වර්ගවාදී දෘෂ්ටියකින් නොවන, ස්‌වාධීන කොමිසමක්‌ පත්කොට ඒ ඔස්‌සේ සත්‍ය සොයා බලා වාර්තාව සකස්‌ කරන ලෙසට මහා සංඝරත්නය රජයට දැනුම් දෙති. සංඝරත්නය රජයට අවධාරණය කරනු ලබන කරුණු කිහිපයක්‌ මෙසේය.

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ මෙතෙක්‌ සඳහන් පරිදි ඒකීය රාජ්‍යයක්‌, බුද්ධ ශාසනය ප්‍රමුඛස්‌ථානයක තැබිය යුතුය. යන කාරනා අර්ථවත් ලෙස පැවැතිය යුතු අතර එම කරුණු වෙනත් ඡේද මගින් නිශේධනය නොකරන බවට පොරොන්දු විය යුතුය.

රට තුළ බෞද්ධ පරිසරය ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම නීති සැලසිය යුතු අතර ගෙන ඒමට නියමිත නව මත්ද්‍රව්‍ය සංශෝධන පනතේ කරුණු රටට ජනතාවට හෙළිකළ යුතුය. එහි යම් පිළිගත නොහැකි කරුණක්‌ වේ නම් වහාම ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.

තම තමන්ගේ අභිමතය පරිදි දේශපාලන පක්‌ෂ හෝ මැති ඇමැතිවරුන් රට ජාතිය ආගම් පිළිබඳ පුද්ගලික අදහස්‌ මත ඉදිරිපත් කිරීම හරහා රට තුළ අනවශ්‍ය ගැටුම් ගැටලු හා කලකෝලාහල ඇතිවන බැවින් රජයේ මතය හෝ තීරණ රටට වගකියන ජනාධිපතිවරයා විසින් පමණක්‌ රටට ජනතාවට දැනුම් දීමට පියවර ගත යුතුය.

ත්‍රෛනිකායික මහ නායක හිමිවරු ඇතුළු මහත් සංඝරත්නය ඉදිරියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මේ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක්‌ පවත්වන බවද පොදුවේ රටට ජාතියට ආගමට අකටයුත්තක්‌ සිදුවන්නේ නම් සංඝරත්නය ඒ සම්බන්ධයෙන් ඉදිරියට පැමිණිය යුතු බවද අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියෝ මාධ්‍යට පැවැසූහ.

මේසා කරුණු අවධාරණය කරමින් සංඝරත්නය කටයුතු කරන්නේ රට, ජාතිය ආගම පිළිබඳව ඇති ඇල්ම නිසා මිස තමන් වහන්සේලා කිසිදු අයුරකින් දේශපාලනික හෝ අන්‍ය ආගම් අන්‍ය ජාතීන් හෙළා දැකීමට කටයුතු නොකරන බවත්, පොදු ශ්‍රී ලාංකික ජනතාවගේ අනාගතය අභිවෘද්ධිය උදෙසා නැඟී සිටින බවත් ධම්මානන්ද හිමියෝ ප්‍රකාශ කර සිටියහ.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING