11 Jul
11Jul

ඉකුත් කාලවලදී ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියන  පුද්ගල අතුරුදන් වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමේන් සොයා බලන්නැයි ඉල්ලා කොටි හිතවාදී ටී.ජී.ටී.ඊ. සංවිධානය විසින් විශේෂ සංදේශයක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට බාර දෙනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් කොටි හිතවාදී ටී.ජී.ටී.ඊ. සංවිධානය හිටපු එල්ටීටීඊ සංවිධානයේ නායකයෙකු වන වී. රුද්‍රකුමරන් නැමැත්තාගේ නායකත්වයෙන් යුතු වෙයි.

පසුගිය සති අන්තයේ දී නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකින් අනතුරුව එම සංදේශය භාරදී ඇති බව එම ආරංචි මාර්ග කියයි.

එමඟින් ඔවුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවූ පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

මෙම පුද්ගල අතුරුදන් වීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට රජයට බල කරමින් කිලිනොච්චියේ දින 100 කට වැඩි කාලයක් ජනතා විරෝධතා පැවති බවද එම කොටි හිතවාදී ටී.ජී.ටී.ඊ. සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ  මහ ලේකම්වරයා වෙත භාරදුන් ලිපියේ සඳහන්ව ඇත.

එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ යුද්ධයෙන් පසු භාරවූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ සංඛ්‍යාව සහ ඔවුන්ට අත්වූ ඉරණම පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළිදරව් වී නොමැති බවය.

මේ සම්බන්ධයෙන් තවත් විරෝධතාවක් අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය යෙදි ඇති අගෝස්තු 30 වැනි දා යුරෝපයේ රටවල් ඇතුළු රටවල් කිහිපයක සංවිධානය කිරීමට ද ටී.ජී.ටී.ඊ. සංවිධානය සැලසුම් කරමින් සිටින බවද තානාපති ආරංචි මාර්ග කියා සිටී.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING