18 Aug
18Aug

පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති විලුක වැවට ව්‍යාජ පිඹුරුපත් සකසමින් පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් වැටකොටු ඉදිකර වැව් රක්ෂිතය අත්පත් කරගෙන ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. අක්කර 150ක පමණ වපසරියකින් යුතු සහ ඓතිහාසික වැදගත් කමකින් යුතු මෙම වැවෙහි රක්ෂිතයෙන් කොටසක් මෙසේ ව්‍යාපාරිකයකුට විකිණීම පිටුපස රාජ්‍ය නිලධාරීන් ද සිටින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම වැව වසර 1500කට පමණ පෙර රජ දවස ඉදිකරන්නක් බවට ප්‍රදේශවාසීහු මත පලකරති. වැව් හතක පිටාර ගලන වාන් ජලය ගබඩා කර තබා ගන්නා එකම වැව මෙම වැව බවත් ජනප්‍රවාදයේ විල්ලුක වැව ලෙසින් හැඳින්වී පසු කාලීනව විලුක වැව ලෙස භාවිතා කරන බවත් පැරැන්නෝ පවසති.

පුත්තලමේ ප්‍රසිද්ධ හොර ඉඩම් ජාවාරම්කරුවන් පිරිසක් සහ සංවිධානාත්මක රාජ්‍ය නිළධාරින්ගේ එකතුවෙන් අදාල වැවට ව්‍යාජ පිඹුරුපත් සකසා ඉතාමත් සූක්ෂමව ව්‍යාජ බලපත්‍ර සකස් කරගෙන පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට අත්පිට මුදලට විකුණා ඇති බව ප්‍රදේශවාසීහු කියති.

වැව් රක්ෂිත ඉඩම මිළට ගනු ලැබූ ව්‍යාපාරිකයා ඩෝසර් යන්ත්‍ර උපයෝගි කරගනිමින් ඉඩමේ සංවර්ධන කටයුතු සහ ඉදිකිරීම් සිදු කරද්දි පුත්තලම ප්‍රාදේශීය ලේකම්වරයා සහ වසම භාර ග්‍රාම නිළධාරි මුණිවත රැකීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

ප්‍රදේශයේ කුඹුරු අක්කර 250කට පමණ යල මහ කන්න දෙකෙහිම නොකඩවා මෙම වැව මගින් ජලය සැපයෙන අතර ප්‍රදේශයේ බහුතරයක් සුළු පන්න ධීවරයින් මෙම වැව ආශ්‍රීතව ධීවර කටයුතු වල නිරතව සිටින හෙයින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් නඩත්තු කරනු ලබන මෙවන් වැවකට අත්ව ඇති ඉරණම ඛේදජනකය. කිසිදු වගකිව යුතු බළධාරියෙක්, නිළධාරියෙක් සිදුවන ඛේදවාචකය දෙස ඇස්කන් හැර නොබලන්නේ ව්‍යාපාරිකයාගේ මුදල් වලට යටවීමෙන් නිසා බවට ජනතාව චෝදනා නඟති.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING