27 Jul
27Jul

යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන නඩුවේ විත්තිකාර නාවික හමුදා නිලධාරීන් නිදහස් කරමින් දෙන ලද මහාධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ ප‍්‍රතිශෝධන පෙත්සමේ දෙවන වගඋත්තරකරුවෙකු වන නාවික ලූතිනන් ප‍්‍රසාද් චන්දන කුමාර හෙවත් සම්පත් නැමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය අද (27) වරෙන්තුවක් නිකුත් කළේය.

සෂිකලා රවිරාජ් මහත්මිය විසින් ගොනු කරනු ලැබූ මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥ එම්.ඒ.සුමන්තිරන් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති වගඋත්තරකරුවන් පස් දෙනෙකුට මේවන විට සිතාසි යවා ඇතත් සම්පත් නැමැත්තා අධිකරණය හමුවේ පෙනී නොසිටී බවය.

එබැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතීඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම වගඋත්තරකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වමින් මෙම වරෙන්තුව නිකුත් කරන ලදී.

එසේම පෙත්සම සම්බන්ධයෙන් සලකා බැලීම සැප්තැම්බර් 06 වැනිදාට කල් තැබීමටද අභියාචානාධිකරණය තීන්දු කරන ලදී.

මෙම නඩුව විභාග කිරීමට ජූරි සභාවකට අවසර දෙමින් දෙන ලද මහාධිකරණ නියෝගය බල රහිත කරන ලෙසත්  අදාළ ජූරි තීන්දුව බල රහිත කර නැවත නඩු විභාගයක් පවත්වා විත්තිකරුවන් සියලූ චෝදනාවන්ට වැරදිකරුවන් ලෙස නම් කරන තීන්දුවක් දෙන්නැයිද ශෂිකලා නඩරාජ් මහත්මිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING